Monday, October 28, 2019

කාන්තාව

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන මා කුඩා කල පටන් අසා ඇතිමුත්, එහි භාවිතය කෙතරම් කටුකද යන්න වටහා ගෙන නොසිටියෙමි. පරිවර්තනය වෙමින් හෝ දියුණු වෙමින් පවතින ආසියාතික රටවල අධ්‍යාපනය, රැකියාව සහ දේශපාලනය යන කාරණා  වලදී කාන්තාවට කිසියම් ඉඩ ප්‍රස්ථාවක් ලැබී ඇතිමුත් සමාජීය වශයෙන් සහ ආකල්පමය වශයෙන් ස්ත්‍රිය අතිශය පහත් තලයකට හෙලා ඇත.

කාර්ය බහුල රැකියාවක නිරත කාන්තාවකට වුවද ගෘහනියගේ කාර්යභාරය මග හැරිය නොහැක.සම්ප්‍රදායික දැඩි මතධාරී පුරුෂ මූලික ආකල්ප තුල ස්වාමියා කිසි විටක අනොන්‍යය වශයෙන් උදව් උපකාර නොකරණ අතර ආහාර සම්බන්දව නූතන රැල්ල කාන්තාව තලා පෙලනු ඇත. ලෙඩ රෝග ඇතිකරණ  සහ ජානමය වශයෙන් වෙනස්කරන ලද ආහාර භාවිතය නුසුදුසු බැවින් කාබනික ආහාර වෙත යොමු වීමට සිදුවනු ඇත. ව්‍යායාම වලින් තොර අලස ස්වාමියන්ගේ ශරීර සෞක්‍යය පවත්වා ගැනීමට සරිලන අහර රටාවක්ද පවත්වා ගත යුතුය.  

දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් ඔවුන් රැක බලා ගැනීම මවගේ යුතුකමක් පමණක් වනුයේ ස්ත්‍රී පුරුෂ ආදායමේ විෂමතාව නිසාවෙනි. රැකියා වෙළඳ පොළ තුල ද ලිංගික අනන්‍යතාව මත වැටුප වෙනස් වන අතර රැකියාවක් ලබා ගැනීමේදී පවා විවාහක අවිවාහක බව, දරුවන් ඇති නැති බව යන කාරණාද ඉස්මතු වනු ඇත, තවද අද්‍යාපනය සහ අත්දැකීම් අතින් සමාන වුවද කාන්තාව වෙනස් කොට සලකනු ලබයි.

කාර්යාලයේදී සහ නිවාස තුලදී හිංසනයට ලක්වන කාන්තාව තම රැකියා සුරක්ෂිතත්වය හෝ දරුවන් උදෙසා විවාහය පවත්වාගෙන යාම උදෙසා නිහඬව සිටී. හිංසනය විවිධාකාරයෙන්  වන අතර කායික,මානසික,වාචික සහ සාමාජීය වශයෙන් විය හැකිය. සැබවින්ම පිළිකුල් සහගත මෙවන් අත්දැකීම් කාන්තාවගේ ශක්තිය හීන කරනු ඇත.

බොහෝ කාන්තාවන්ගේ ජීවිත කාලය ග්‍රාම්‍ය කඩතොළු වූ හෘද සාක්ෂියක් ඇති පිරිමින් විසින් ලියා අවසන් කරනු ඇත.