Tuesday, July 11, 2017

සංවේදන

මානවයාගේ විස්කෘත මනෝභාවයන් සුවපත් කළ හැකි ඔසුවක් අවැසි කාලයකි මෙය.සියල්ල අපගේ පුද්ගලික අත්දැකීම් නොවනු ඇත. එහෙත් අනෙකෙකුගේ  අතිශ්‍යය සංවේදී අත්දැකීමක භාවයන් හඳුනා ගැනීමෙහිලා එය බාදාවක් නොවෙනු ඇත. විටෙක කෙනෙකු සිය දිවිය අතහැර දා යනු තීරණය කරනුයේ හැගීම්බරව යන්න තර්ක කරන අයවලුන් එම අත්දැකීම තමාගේ වන දිනයට සියලු දාර්ශනික මත බැහැර කරනු ඇත. 
මේ ජීවිත කාලය තුල ඔබ හෝ මා  දැනුවත් භාවයෙන්  තොරව පාරාවළලු තුළ සිරවී ඇතිද යන්න විමසා බැලීම වටී .විටක එය ප්‍රේමය යයි කියනු අසා ඇත, තවත් විටක එය ඔබගේ ජීවන උපාය විය හැකිය. ඔබට ඉන්  මිදී යාමට නොහැකිව විය හැකිය. 
කඳුලින් පිරි කටුක අමිහිරි අත්දැකීම් ඔබ පසුපස හඹා එනු විය හැකිය.එවිට බොහෝ ආදරණීයන්අතර ඔබ තනිවී ඇති සෙයක් දැනෙනු ඇත. අවසන ඔබට පලා යාමට සිතෙනු ඇත.  
එවන් තැනකදී නිසැකයෙන්ම ඔබ නැවත උපදිනු හෝ මේ අඳුරු ලෝකයෙන් සමුගෙන යනු ඇත. ජීවිතය තුලදී ඔබ නැවත නැවත උපදී නම් ඔබේ ඇතුළාන්තය සැබෑ මිනිසකුගේ නවාතැන වනු ඇත. ඔබ මේ දිවිය අතහැර යා නම් මේ ලොව තවද විස්කෘත මනෝභාවයන්ගේ නවාතැන වනු ඇත .

Wednesday, June 1, 2016

ලස්සන මල්

කාන්තාරවලත්
ලස්සන මල් පිපෙනවා
එක වැලි  කුණාටුවකින්
මුකුලිතවන මල් ..........

Tuesday, December 29, 2015

වසන්තයට ගිණි තියන්න.....

යදම්  සිඳ දමා      
එක් ටැම් ගෙන් 
මා මුදන්න

සඳට හොරෙන් 
පිනි දියරින් 
මා තෙමන්න 

අහස් තලෙන් 
ඈත ඉමක 
හීන වලට 
පණ පොවන්න....   

ඔබ නොඑනා 
වසන්තයට 
ගිණි තියන්න.....

Monday, November 30, 2015

රස සිතුවිලි

මනුෂ්‍යයා යහපත් වනුයේ අයහපත්  වීමට අවකාශය හමුවන තුරුය. ඒ ඔබද මාද විය හැකිය.කෙදිනක හෝ ඔබ සිතුවිළිවල රස විඳ  තිබේ නම් නිසැකයෙන්ම පීඩාකාරී සෙවනැළි  ඔබ පසු පස හඹා එනු ඇත.

පුදසුන

සිතුවිලිවල
රස බලන්න
නිකැළැල්
පුදසුනක
පර මල් තියල

Friday, November 20, 2015

හිතේ ඈතම තැනක

හිතේ ඈතම තැනක
පාළු හුදකළා කුටියක
දුක හිතෙන....
හීනයක් වගේ
උණුසුමත් හීතලට
තවමත් දැනෙන
ඔබ උන්න තැන.....

කරුවල  රාත්‍රියට
තරුවක් වෙලා
සැරිසරණ ඔබ දකින්න
හැමදාම මම  එනවා
කවුළු පියන් අද්දරට.

Monday, November 9, 2015

කටු අකුල්

විඩාපත් වනතුරු 
වසත් මං මාවත් දිගේ 
පිය මැන්නෙමි

හිරු කිරණ පතිත වන තුරු 
වසත් කල සිසිලසින් 
මත් ව සැරී සැරුවෙමි 

පිනි මැකී ගොස් ඇත 
දෙපා ඉරි තැළී  ඇත 
වසත් මං මාවත් වලද 
කටු අකුල් පැතිර ඇත.